චරිතාපදානයයි අපවත්වී වදාළ වල්පොල ශ්‍රී කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
යො හොති වියත්තො විසාරදොච
බහුස්සුත්තො ධම්මධරොච හොති
ධම්මස්ස හොති අනු ධම්මචාරී
සතාදිසො වුච්චති සංඝ සොභනො.
යම් භික්ෂුවක් ප්‍රඥාවෙන් හා ව්‍යක්ත භාවයෙන් යුක්තද, පිරිස් අතරට පැමිණියේ අකම්ප්‍ය ඥානයෙන් යුක්ත ද, බොහෝ දතයුතු දෑ ඉගෙන ගත්තේ ධර්මය කටපාඩමෙන් ධරා සිටින්නේ ද, ඒ උගත් ධර්මයට අනුව පිළිපදින්නේ ද එබඳු භික්ෂුව භික්ෂු සංඝයාගේ ශෝභනත්වය හෙවත් බැබලීම ඇති කරන හෙයින් “සංඝ ශෝභන” යැයි අප බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී. මෙම බුද්ධ වචනයට අප ගරුකටයුතු වල්පොල ශ්‍රී කල්‍යාණතිස්ස නාහිමිපාණන් වහන්සේ යෝග්‍ය වන්නේ නිතතයෙනි.
ගම්පහ, මිනුවන්ගොඩ, වල්පොල ග්‍රාමයේ පදිංචිව සිට පරලෝ සැපත්වන්නට යෙදුන පොල්වත්ත අප්පුහාමිලාගේ ජෝන් අප්පුහාමි මැතිඳුන් සහ ලොකුබාලසූරියගේ යසෝහාමි මැතිණිය දෙමපියන්කොට ගෙන වල්පොල ග්‍රාමයේදී 1954 සැප්තැම්බර් මස 18 වැනි දින සම්බුද්ධ ශාසනය බැබලවීමට කුළකුමරුවකු මෙලොව එළිය දුටුවේය. සහෝදරයන් 4 දෙනෙකුගේ හා සහෝදරියන් 5 ස් දෙනෙකුගේ පවුලේ සාමාජික වූ මේ කුළකුමරුවන් මිනුවන්ගොඩ ආඬිඅම්බලම ප්‍රාථමික බෞද්ධ විද්‍යාලය, වල්පොල ශ්‍රී රතනසාර කණිෂ්ඨ විද්‍යාලය, ආඬිඅම්බලම මහා විද්‍යාලය යන පාසැල් තුළින් සිය පාසල් අධ්‍යාපනය ලබා 1964 වසරේදී එවකට ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ අති ගෞරවාර්හ ආභිධම්මික වාගීශ්වර ආඬිඅම්බලමේ ශ්‍රී සරණතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පා සෙවනට ගියේ උතුම් වූ ප්‍රවෘජා භූමියට ඇතුළත්වීමේ නිර්මල අදහසිනි. එහි වසර තුනක කාලයක් තිස්සේ ප්‍රවෘජා භූමියට ඇතුළත්වීමට අවශ්‍ය කෙරෙන බණ දහම් පොත්, ශතක පොත් ආදිය මැනවින් ඉගෙන ගැනීමෙන් අනතුරුව ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ අති ගෞරවාර්හ ආභිධම්මික වාගීශ්වර ආඬිඅම්බලමේ ශ්‍රී සරණතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යකු ලෙස 1967 මාර්තු මස 05 වැනි දින “වල්පොල කල්‍යාණතිස්ස” නමින් පැවිදි බිමට ඇතුළත් විය.
ආඬිඅම්බලමේ ශ්‍රී වේළුවනාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස පිරිවෙනෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් අප කල්‍යාණතිස්ස හාමුදුරුවන් වහන්සේ ලක්දිව සුප්‍රකට පරිවෙනස්ථානයන් වන කුරුණෑගල සඳලංකාව පිරිවෙන, පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන හා දෙල්ගොඩ ශ්‍රී කල්‍යාණප්‍රදීප විද්‍යස්ථානයන්ගෙන් ප්‍රාචීන අධ්‍යාපනයන් හා උසස් පෙළ අධ්‍යාපනයන් ලබා උසස් සාමාර්ථයන් ලබාගෙන 1975 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහිදී ආර්ථික විද්‍යා පිළිබඳව විශේෂවේදී උපාධිය හදාරා උසස් ලෙස සාමාර්ථයන් ලබාගත්හ. අනතුරුව බෙලිහුල්ඔය ශාන්ති නිකේතනය පිරිවෙනෙහි ගණිතය සහ ඉංග්‍රීසි විෂය සඳහා ආචාර්යවරයකු ලෙස සේවයකොට අප කල්‍යාණතිස්ස හිමියන් 1981 වර්ෂයේදී මදුරාසිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා පාලි සහ අභිධර්ම විෂයයනට ඉහළම සාමාර්ථයන් ලබා ඒ සඳහා රන් පදක්කම් දිනාගෙන රන් පදක්කම් ලාභියකු බවට පත්විය. පසුව කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1985 වර්ෂයේදී එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචිව “හේතුඵල වාදයෙන් ප්‍රකට කරවන බෞද්ධ අරමුණ” යන තේමාව යටතේ සිය නිබන්ධනය ඉදිරිපත්කොට ඒ සඳහා කල්කටා විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය දිනාගත්තේය. ඉන් අනතුරුව ඉන්දියාවේ සාරානාත්හි පිහිටි මහාබෝධි සමාගමට අයත් සාරානාත් භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ලෙස අප හිමියන් සේවය කළේය.
මේ අතරතුර සාරානාත්හි පැවති භාවනා වැඩ සටහනකට සහභාගිවීමට පැමිණි ජර්මන් භාෂාව සඳහා ලොවපුරා පිහිටුවා ඇති “ගෝතේ” ආයතනයේ ඉතාලියේ ආචාර්යවරියක ලෙස සේවයේ
නියුතුව සිටි ආචාර්යවරියගේ ආරාධනයෙන් 1987 වර්ෂයේදී පළමුවතාවට කල්‍යාණතිස්ස හිමියන් යුරෝපයේ ඉතාලියට වැඩම කළේය. පසුව බුදුපිළිම නිර්මාණය කිරීමේ සුප්‍රකට කලාකරු හිමිනමක වූ මාපලගම විපුලසාර හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ජපානයේ නයෝගාවලට වැඩමකොට එහි භාවනා සහ යෝගාචාර්යවරයකු ලෙස කටයුතු කළේය.
ජපානය අතහැර ප්‍රංශය වෙත ළඟා වූ අප කල්‍යාණතිස්ස හිමියෝ ප්‍රංශයේ “චාල්ස් ඩිගොල්” විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ප්‍රංශ භාෂාව, ප්‍රංශ ආර්ථිකය, භූවිද්‍යාව, ප්‍රංශ නාට්‍ය වැනි විෂයන් හැදෑරූහ. මේ අතරතුර ප්‍රංශයේ නිවසක වැඩ වසමින් ප්‍රංශයේ වෙසන ලාඕස් බෞද්ධ ජනතාවට සිය ආධ්‍යාත්මික බලයෙන් ලෙඩුන් සුවපත් කිරීමේ කටයුතු කරමින් සිටියදී නැවත ලක්දිව රත්නපුරයට ගොස් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමිපාණන් වහන්සේගේ සෙවනෙහි සිටිමින් භාවනාව වැඩි දියුණු කරගත්තේය. අනතුරව බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රංශයට වැඩමවා ගෙනවිත් සියළු පහසුකම් සලසා දෙමින් කලක් ප්‍රංශයේ වැඩ සිට පසුව උන්වහන්සේ ඇමෙරිකාවට වැඩමවාගෙන ගොස් එහි “ආනන්ද බුඩිස් විහාර” ලෙසින් ධර්මායතනයක් ඇරඹීය.
1983 වර්ෂයේදී ප්‍රංශ ජාතික පවුලක් වන Ratsaphong ඉන්දියාවේ වන්දනාගමනකදී අපේ වල්පොල නායක හාමුදුරුවන් වහන්සේව අහඹු ලෙස මුණ ගැසීම සුවිශේෂි සිද්ධියක් විය. එහි ප්‍රථිපලයක් ලෙස අප නායක හාමුදුරුවන් වහන්සේට මේ පවුල විසින් ප්‍රංශයේ ලීල් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට ආරාධානාවක් කොට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමෙන් අප නායක හාමුදුරුවන් වහන්සේ 1987දී ප්‍රංශයේ Ratsaphong පවුල වෙත පැමිණ වසර තුනක කාලයක් සිය අධ්‍යයන කටයුතු අවසන්වනතුරු Arrasඅරාස්වල වාසය කළහ. මේ පවුල අප නායක හාමුදුරුවන් වහන්සේව සිය දරුවකු ලෙස සලකා කටයුතු කළහ. එසේම අප නාහිමිද මේ දෙදෙනා දෙමාපියන් ලෙස සලකා කටයුතු කළ අතර එම පවුලේ ළමයි පස් දෙනෙකුගේ වැඩිමහලු සහෝදරයා ලෙස ද කටයුතු කරමින් ඔවුන් සමග විසූහ. අප නාහිමි බර්ලින් විහාරයේ වැඩ වසන කල ප්‍රංශයේ සිට බස් රථ රැගෙන මේ පිරිස බර්ලින් විහාරයට පැමිණියහ. 1993 දී මේ පවුලේ තරුණ සහෝදරයන් Sack Ophe’li, Karine, Tha, Santyඅතරින් දෙදෙනෙකු බර්ලින් විහාරයට පැමිණ අප නායක හාමුදුරුවන් වහන්සේගෙන් තාවකාලික පැවිද්ද ලබාගෙන තුන් මාසයක කාලයක් අප සමඟ විසූහ. අද ඔවුන් ප්‍රංශයේ උසස් නිලතල දරන මහත්වරුන් වෙති. එසේම මේ පවුලේ සියළුම දෙනා අප නාහිමියන්ගේ අපවත්වීම දක්වාම සිය ඤාතියකු ලෙස සලකා කටයුතු කළහ. අප නාහිමියන්ගේ යුරෝපීය ධර්ම ප්‍රචාරයේ පදනම වැටුනේ මේ පවුලේ සම්බන්ධතාව බව සිහිපත් කිරීම වටී.
මේ අතරතුර එංගලන්තයේදී මහාචාර්ය (මාතර) වල්පොල රාහුල, මඩිහේ පඤ්ඤාසීහ වැනි උගතුන් ඇසුරු කළ අප කල්‍යාණතිස්ස හිමියන් 1990 වර්ෂයේදී කොළඹ ජර්මන් ධර්මදූත සංගමයේ ආරාධනයෙන් යුරෝපයේ විශාලතම බෞද්ධ විහාරය වන ජර්මනියේ බර්ලින් විහාරයට වැඩමකොට එහි විහාරාධිපති ධුරයට පත්විය. 1994 වර්ෂය දක්වා එහි කටයුතු කළ අතර එම කාලය තුළ රඹුක්වැල්ලේ දේවානන්ද, මැදගොඩ පේමරතන, රඹුක්වැල්ලේ මේධානන්ද, කරඳන සිරිනිවාස (ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සහෝදර) වැනි භික්ෂූන් බර්ලින් විහාරයට ගෙන්වා සිය ධර්ම දූත සේවාව ජර්මනිය තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බර්ලින් විහාරය හැරුණුවිට ජර්මනියේ පළමුවතාවට බොන් නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකොට එහි විහාරාධිපති ධුරයට කරඳන සිරිනිවාස හිමියන් පත් කළේය. 1993දී යුරෝපයේ පළමු වතාවට බෞද්ධ සම්මන්ත්‍රණයක් Deutsche Buddhistische Union” ජර්මන් බෞද්ධ සංගමය” හා Berliner Buddhistische Gesellschaft “බර්ලින් බෞද්ධ සංගමය” මුල්කොටගෙන පැවැත්වීය. මේ සඳහා ටිබෙට් ජාතික දලයි ලාමා ඇතුළු ලොව ප්‍රකට බෞද්ධ භික්ෂුන් වහන්සේලා 50 ට වැඩි පිරිසක් සහභාගී වූ අතර ජර්මන් ජාතිකයන් ඇතුළු 2500 ට වැඩි යුරෝපීය බෞද්ධ පිරිසක් සහභාගී වූහ.
මේ වනවිට අප කළ්‍යාණතිස්ස හිමිපාණන්ගේ ජාතික, ආගමික හා සමාජයීය විදේශීය ධර්ම ප්‍රචාරක සේවාවන් ඇගයීමට ලක් කරමින් ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහා නායක ධුරන්ධරව වැඩ සිට අපවත්වී වදාළ අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී අභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ, සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ජර්මනියේ
ප්‍රධාන සංඝ නායක” පදවියෙන් අප නාහිමිපාණන් වහන්සේව පුදනු ලැබූහ. 1992 වර්ෂය දක්වාම ජර්මනියේ බර්ලින් විහාරය හැරුණුවිට වෙනත් කිසිඳු ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් නොවීය. එම නිසා අප වල්පොල ශ්‍රී කල්‍යාණතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තායිලන්තයේ රජ පවුලට
සම්බන්ධතා තියෙන තායි භික්ෂූන් වහන්සේනමකට (මහාචිත්ති හිමි) බර්ලින් විහාරයට වඩමාගෙන වසරක කාලයක් නේවාසික පහසුකම් සපයා දී පළමුවරට බර්ලින් නුවර තායි විහාරස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍යය කටයුතු සලසා දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙසට අද වනවිට බර්ලින් නුවර ථෙරවාදී සම්ප්‍රදායයේ තායි විහාරස්ථාන 5 ක් ඇති අතර ජර්මනිය පුරා තායි විහාරස්ථාන 36 ක් පිහිටුවා තිබේ.
අප නාහිමිපාණන් වහන්සේ බර්ලින් විහාරයේ වැඩ වසන සමයේදී තායි ජාතික සුප්‍රකට “අචාන් ටොන්”, කාම්බෝජ ජාතික “මහා ඝෝෂානන්ද, එංගලන්තයේ බුරුම ජාතික ආචාර්ය රේවත ධම්ම, ඇමෙරිකාවේ හේනේපොළ ගුණරතන හිමි, ඇමෙරිකාවේ රාහුල හිමි, ඕලන්දේ ආනන්ද හිමි, භන්තේ විමල හිමි වැනි සුප්‍රකට භාවනා සහ ධර්මාචාර්යවරුන් පමණක් නොව ජපන්, කොරියන්, ඇමරිකන් ජාතික මහායාන ආචාර්යවරු ද වැඩමවා සති ගණන් භාවනා වැඩ සටහන් පවත්වමින් බර්ලින් විහාරය යුරෝපීය ජාතික බෞද්ධයනට බුදුදහමේ තෝතැන්නක් බවට පත් කළහ.
බර්ලින් විහාරයේ සුරක්‍ෂිතතාවය උදෙසා එවකට ජර්මන් ධර්මදූත සංගමයේ සභාපතිව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ලේකම්වූ ද හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු පළමු සභාපති වූ ද ඇම්. ජේ. පෙරේරා මැතිතුමන් ප්‍රමුඛව වියත් පිරිසක් මුල්කොටගෙන “Buddhist Trust Fund Berlin Vihara“, “බර්ලින් බෞද්ධ විහාර පදනම” නමින් අරමුදලක් ද ආරම්භ කළහ. එහි සභාපති ධුරයට පත් වූ අප නාහිමියන් බර්ලින් විහාරස්ථානයේ සංරක්ෂණයට හා අභිවෘධියට කටයුතු කළේය. අප නාහිමිපාණන් වහන්සේ බර්ලින් විහාරයේ වැඩ වසන සමයේ ප්‍රංශය හා ජර්මනියේ දුර බැහැර නගරවල සිට බෞද්ධයන් බස් රථ කුලියට රැගෙන සිය ගණනින් නාහිමියන් වෙත ඇදී ආවේ මලට ඇදෙන බඹරුන් ලෙසිනි.
1994 බර්ලින් විහාරයට සමුදුන් අප නාහිමිපාණන් වහන්සේ ස්විස්ටර්ලන්තයේ වැඩ වසමින් 2000 වසරේදී එවකට බර්ලින් විහාරාධිපතිව සිටි රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ට බර්ලින් නුවර සම්බෝධි විහාරය නමින් විහාරස්ථානයක් ආරම්භ කිරීමට උපදෙස් දෙමින් කටයුතු කළහ. වර්ෂ 2002 ඔක්තෝබර් මස 12-13 දෙදින තුළදී බර්ලින් සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් සංවිධානය කරන ලද ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිතයකු ලෙස අප කල්‍යාණතිස්ස නාහිමියන් බර්ලින්නුවරට වැඩමකොට ඒ සඳහා උරදී කටයුතු කළහ. මේ සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකා මල්වතු මහා විහාරීය මහානායක රඹුක්වැල්ලේ විපස්සී මහා නාහිමි, තායි සංඝරාජ හිමිපාණන් වහන්සේ, බුරුම සංඝරාජ හිමිපාණන් වහන්සේලා විසින් පරිත්‍යාග කරන ලද ධාතූන් වහන්සේලා වෙති. මේ ධාතු ප්‍රදර්ශනයට ජර්මන් හා ආසියාතික බෞද්ධයන් 8000 ට වැඩි පිරිසක් පැමිණ වන්දනාමාන කරගත්හ. අනතුරුව අප කල්‍යාණතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ලොව වටා රටවල් 35 ට අධිකව මේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයකොට අවසානයේ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමි භාගයක ඉදි කරන ලද චෛත්‍ය තුළ තැන්පත් කරන ලදී.
ස්විස්ටර්ලන්තයේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ අදහසින් ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ පදනමට සම්බන්ධවී එහි අධ්‍යක්ෂක හා උපදේශක තනතුරුවලට පත්ව කඩා වැටී තිබුණ ධර්මදූත මෙහෙවරට නව ජීවයක් ලබා දුන්හ. ඒ අනුව හාල්යාලේ විමලරතන හිමියන් ඒ සඳහා යොමුකොට වත්මන් දියුණුවේ මෙහෙවරට නායකත්වය ලබා දුනි. සුරිච් නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකොට ශාස්ත්‍රපති කරුවලගස්වැවේ අනුරුද්ධ හිමියන්ව එහි කටයුතුවලට යොමුකොට ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සපයමින් නායකත්වය ලබා දුනි. මේ හැර ස්විස්ටර්ලන්තයේ ලේන්ස්බුර්ග් බෞද්ධ විහාරය ආරම්භකොට එහි කටයුතුවලට ද නායකත්වය දෙමින් අප නාහිමියන් කටයුතු කරන අතර ස්විස්ටර්ලන්තයේ බෙලින්සෝනාහි “බුද්ධ භාවනා විහාරය” ලෙසින් විහාරස්ථානයක් ආරම්භකොට එහි කටයුතු සඳහා හේනේගම සෝභිත හිමියන්ට පවරා කටයුතු
කළහ. මීට අමතරව ඉතාලියේ “අන්තර් සංස්කෘතික බෞද්ධ විහාරය” නමින් විහාරස්ථානයක් ඇති කිරීමට ද කටයුතු කළහ. මෙසේ යුරෝපීය ධර්ම දූත සේවාවට සුවිශාල සේවාවක් කරන අප නාහිමිපාණෝ මිනුවන්ගොඩ යටියන “ශ්‍රී සුදර්ශන” නමින් සුවිශාල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර මේ වනවිට දෙස් විදෙස්හි භික්ෂු-භික්ෂුණි, උපාසක-උපාසිකා සුවිශාල සිව්වනක් පිරිසක් එහි භාවනා කටයුතුවල නිරතව සිටිති. දෙස් විදෙස්හී මේ සියළු විහාරස්ථානවල, ජාත්‍යන්තර බෞද්ධ හා භාවනා මධ්‍යස්ථානවල ආධ්‍යාත්මක ආචාර්යවරයාණෝ ලෙස අප නාහිමිපාණන් වහන්සේ අපවත් වනතුරුම කටයුතුකොට වදාළහ.
අතිගරු අප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ව්‍යක්ත විසාරද බහුශ්‍රැත පඬිරුවනකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් ආදී පෙර’පර දෙදිග භාෂා පිළිබඳව මනා අවබෝධයක් ලබා සත් භාෂාවන් මනා ලෙස හැසිරවිය හැකි ප්‍රාඥයෙකි. අප ගරුකටයුතු නායක හාමුදුරුවන් වහන්සේ භාෂාඥකි, අර්ථ ශාස්ත්‍රඥයෙකි, චින්තකයෙකි, දාර්ශනිකයෙකි. සමස්ත භික්‍ෂු පරපුරටම පූර්වාදර්ශයට ගතහැකි සත් පුරුෂ ආදර්ශවත් චරිතයකි. අප නායක හාමුදුරුවන් වහන්සේ ස්විස්ටර්ලන්තයේ බෞද්ධ පදනම වෙත වර්ෂ 1991භාවනා වැඩ සටහනක් පවත්වමින්ද 2000 වසරේදී එහි කඨින පූජෝත්සවය ද උසස් අන්දමින් පැවැත් වූ අතර එම පදනමේ ආරාධනයෙන් එහි නේවාසිකව වැඩ විසීමට කාරුණික වූහ. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ ආධ්‍යාත්මක මාර්ගෝපදේශකත්වය දෙමින් සැමට නායකත්වය සැපයූහ. සිල්වත් ගුණවත්, උගත් ධර්ම ධූතයාණන් වහන්සේ නමක් වූ අප කථානායක නාහිමිපාණන් වහන්සේ යුරෝපයේ බුදුදහමේ ව්‍යාප්තිය උදෙසා එබඳු සුදුසු භික්ෂූන් වහන්සේලා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමට ලබාදීමේලා පුරෝගාමී වූහ.
වර්ෂ 1999 ස්විස්ජාතිකPhilip Guignard සහ Sylvia Guignard ඒ යන දෙපොළගේ අනුග්‍රහයෙන් “ලෙමනික් බුඩිස්ට් ෆවුන්ඩේෂන්” නමින් බෞද්ධ පදනමක් ආරම්භකොට බුදුදහම ස්විස්ටර්ලන්තය තුළ තවදුරටත් ස්ථාපිත කිරීමට පදනම දැමීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2024 වන විට ස්විස්ටර්ලන්තයේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවිය. එසේම අප නායක හාමුදුරුවන් වහන්සේට ස්විස්ටර්ලන්තයට වැඩම කිරීමට ආරාධනාකොට ස්ථාවරත්වයකට පත්ව බුදුදහම වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍යයමය මූලික කටයුතු සිදුකිරීමේලා මූලිකත්වය ගෙන කටයුතු කළේ ලාඕස් ජාතික බෞද්ධ පවුලකි. ඔවුහු අප නායක හාමුදුරුවන් වහන්සේගේ කටයුතුවලට කැපවීමකින් යුක්තව සහයෝගය, අනුග්‍රහය දක්වමින් මේ දක්වාම කටයුතු කළහ. මේ අතර දැනට වසර 8 ක පමණ කාලයක් තිස්සේ අප නායක හාමුදුරුවන් වහන්සේගේ ස්විස්ටර්ලන්තයේ ධර්මදූත සේවයට මෙන්ම ශ්‍රී ලංකාවේ සිය යටියන ශ්‍රී සුදර්ශන භාවනා මධ්‍ය ස්ථානයේ ද අභිවෘර්ද්ධියට සුවිශාල අනුග්‍රහයක් දක්වමින් කටයුතු කරන Helan von Flüe මැතිණිය ද සිහිපත් කිරීම අප බෞද්ධ සැමගේ යුතුකම වේ.
ඒ අතර වසර දහයකට වඩා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ IBFහි වැඩ වසමින් ආධ්‍යාත්මික කටයුතුවලට මුල් තැන දෙමින් ජාතික, ආගමික, සංස්කෘතික කටයුතුවලට නායකත්වය සැපයිය හැකි භික්ෂූන් වහන්සේලා සිය ධර්ම ධූත සේවාවට යොමු කළහ. .ඒ අතර ශාස්ත්‍රපති හාල්යාලේ විමලරතන හිමි, ශාස්ත්‍රපති වෙලගෙදර සුමනජෝති හිමි ප්‍රමුඛ භික්ෂු පිරිසක් වෙති. අප නායක හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් බාසල් නගරයේ බෞද්ධ විහාරයක් ආරම්භකොට එහි විහාරාධිපතිත්වයට දර්ශනපති උඩුමත්තේ අරියසීල හිමියන් පත්කොට වදාළහ. ස්විස්ටර්ලන්තයේ ශ්‍රී කළ්‍යාණ “බුඩිස් සෙන්ටර්” එක බාසල්හි ආරම්භකොට එහි විහාරාධිපති ධුරයට ශාස්ත්‍රපති හේනේගම සෝභිත හිමිපාණන්ද පත් කරමින් ස්විස්ටර්ලන්තයේ ථෙරවාදී බුදුදහම තවදුරටත් ස්ථාපිත කිරීමට සුවිශාල මෙහෙයක් ඉටු කළහ. මීට අමතරව ස්විස්ටර්ලන්තයේ මංගල, ඉතාලියේ ධම්මපාල ඇතුළු යුරෝපීය ජාතික භික්ෂූන් වහන්සේලා ද ශාසනයට දායාද කළහ. මේ අතර අප නායක හාමුදුරුවන් වහන්සේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂිකව වෙසක් උත්සවයන් පැවැත්වීමේදී ද එයට නායකත්වය හා උපදේශකත්වය දෙමින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට ඉමහත් සේවාවක් සිදුකොට වදාළහ.
අතිගරු අප නායක හාමුදුරුවන් වහන්සේ ජිනීවා ජාත්‍යන්තර බොද්ධ පදනමේදී අප කිසිවකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක වසර 70 ක් ආයු වළඳා දෙස් විදෙස් සුවිශාල ගිහි පැවිදි පිරිසක් සෝසුසුම් සාගරයක ගිල්වා අප අතරින් 2024 ජුලි මස12 වැනි දින සන්ධ්‍යා භාගයේ පියවි සිහියෙන්
යුතුව විහාරවාසීව වෙලගෙදර සුමනජෝති හිමියන්ගේ දෑත මත දෙනෙත් පියා ගනිමින් සදහටම සමුගත් සේක. අප නාහිමිපාණන් අපවත්වීමෙන් සම්බුද්ධ ශාසනයට ඇති වූයේ ඉමහත් පාඩුවකි. මින් ඇති වූ හිඩැස පිරවීමට සමත් සුපේශල, ශික්ෂාකාමී ප්‍රඥාවන්ත මහ තෙරුන් වහන්සේ නමකගේ නැවත පහළවීම අතිශය දුර්ලභය.
සම්බුද්ධ ශාසනය බැබළවූ සීලෝවෘද්ධ, ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ, ආකර්ශනීය, කාටත් ප්‍රිය මනාප වූ, ජනහිතකාමී අපවත් වී වදාළ ජර්මනියේ ප්‍රධාන සංඝ නායක මිනුවන්ගොඩ ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අති ගෞරවාර්හ වල්පොල ශ්‍රී කල්‍යාණතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක නැති සදාකල් සුව ඇති අමා මහ නිර්වාණ සම්පත්තියම සාධනය වේවායි ප්‍රාර්ථනය කරමු.
ආදාහන පූජෝත්සවය: ක්‍රි.ව. 2024.07.27 වන සන්ධ්‍යා භාගයේ දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසකගේ සෝසුසුම් මැද ජිනීවා නුවරදී සිදු කෙරේ.
ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරාධිපති හා
දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති
© ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද නාහිමි
(බී. ඒ. ගෞ., ඇම්.ඒ., පී එච්. ඩී – ජර්මන්)